Sunday, February 3, 2013
බුදුගල රජමහ විහාරය, කල්තොට
අතීත රහස් බොහොමයක් සගවා ගත් පින්බිම... බුදුගල රජමහ විහාරය, කල්තොට
බලංගොඩ මානවයා පිළිබඳ තොරතුරු හමුවන ප්‍රදේශයක් ලෙස ‘කාලතිත්ථ’ රාජධානිය හෙවත් කල්තොට හැඳින්වෙන එම මංසන්ධියෙන් කි.මී. 4 1/2 ක් ගියතැන දියවින්න මාර්ගයේ ගමන් කරන්නෙකුට මෙම ඓතිහාසික බලන්ගොඩ බුදුගල රජමහ වෙහෙර හමුවෙයි. අති රමණීය ස්වභාව සුන්දරත්වයට නෑකම් කියන තුරු පියසකින් යුතු බුදුගල රජමහ වෙහෙර අතීත බෙදීම අනුව සබරගමු දිසාවේ කඩවත මැද කෝරලයේ හෙළ උඩපත්තුවේ මහවලතැන්න සානුවට යාබදව පිහිටා ඇත.
කූරගල බුදුගල ලංකා පබ්බතය සහ ගල්ටැම්යාය නමින් ආරාම සංකීර්ණ රාශියක් දුරාතීතයේ සිටම මේ ප්‍රදේශයේ පිහිටා තිබිණි. පැරණි කුරුදියවල විහාරය වශයෙන් හඳුනා ගත හැක්‌කේ ගල්ටැම් යායයි. පලුගහවැවව නම් දැනට කැඩී ඇති වැව් බැම්ම හරහා කුරුදියවල විහාරයටත් එතනින් ගල් ඇතිරූ පාරක් ඔස්‌සේ කූරගල දෙසටත් පාරක් තිබූ බව පැරන්නෝ කියති. මේ කුරුදියවල විහාරය අනුරාධපුර යුගයේ ඉදිවූ පංචාවාස ආරාමයෙකි. ලංකා පබ්බතයේ වටිනා සෙල්ලිපි දෙකක් පිහිටා තිබෙන අතර බුදුගල ආරාමයේ ද පධානඝර නොහොත් පියන්ගල් දක්‌නට ඇත.
කූරගල ද රාක්‍ෂ ගෝත්‍රිකයන්ගේ වාස භවනයෙකි. ඔවුහු තෙරුවන් සරණ යැමෙන් පසුව එහි ගල්ලෙන් භාවනායෝගී රහතුන් වහන්සේලාට පූජා කොට ඇත. එසේම සිරිපතුල් ලාංඡනයක්‌ද එහි පිහිටුවා වැඳුම් පිදුම් කරන්නට ආරම්භ කොට ඇත. කූරගල ආශ්‍රිත ජන ප්‍රවාද ජන කවිවල සඳහන් වන ආකාරයට සමන් පව්වට බුදුන් වහන්සේ වැඩිය ගමනේදී දිවා විහරණය පිණිස කූරගලට වැඩම කොට ඇත. ඒ සමන් දෙවියන්ගේ ආරාධනයෙනි.
අනුරාධපුර යුගයේදී සංවර්ධනය වූ බුදුගල පියන් ගල් ආරාමයේ මෙම ජන ප්‍රවාද තහවුරු කරන සලකුණු කීපයක් ඇත. ඉන් පළමුවැන්න එහි පහළ මළුවේ බෝධියට නුදුරින් ගල් කණුවක සටහන්ව තිබේ. සංඛයක හැඩය ගත් එහි එක රූපයක් ගුවන් යානාවක හැඩයක් ගනී. දෙවැන්නේ ඇත්තේ සිරිපතුල් ලකුණයි. තිස් දෙකෙන් කියෑවෙන්නේ සිරිපතුල් දෙකක් ඇති බවයි. තුන් වැන්න සවස්‌තිකයයි. එය රාක්‍ෂ ගෝත්‍රිකයන්ගේ ගෝරා පසලම නම් සංකේතයයි. පළමු සලකුණත් දෙවැන්නත් අතර තිබෙන රේඛා චිත්‍රය එක වරම හඳුනා ගන්නට බැරි වූවද කූරගල ජන කවි අතර ඇති එක් කවියෙකින් එයට අවශ්‍ය අරුත දිය හැකි යයි සිතමි.
තාරක අසුරා පෙරළු ගල යට කෙටුව සිරිපද පත්ම සටහන සැමට නොපෙනේ යයි සඳහන් කවි පදය අනුව කුහර ගල උමං මාර්ගයේ දමා වසා ඇති සිරි පතුල මෙයින් සංකේතවත් වන්නේ යයි සිතමි. සටහනේ දක්‌වා ඇත්තේ ඒ උමං මාර්ගයයි.
සපරගමු බින්තැන්නේ සිට වන්දනාවට එක්‌වෙන ජන සමූහයා බුදුගල මේ සංකේතය දැක ශ්‍රද්ධා භක්‌තියෙන් පිරී ඉතිරී ගොස් සාධු සාධු කියමින් කූරගල කරුණා කරන්නට ඇති බව කල්පනා කරන්නට හැකිය. ඒ සිංහල බෞද්ධ සංස්‌කෘතියෙන් හික්‌ම වූ සාධු පිළිවෙතයි. අන්‍යාගමිකයන්ගේ යකුළු පහරකට හෝ මිථ්‍යා මතවාදයකට එම හැදියාව වෙනස් කළ නොහැකි බව ඉතිහාසය විසින් අපට පසක් කොට දී තිබෙන බව අවසන් වශයෙන් සටහන් කළ යුතුව තිබේ.
මේ පුණ්‍යභූමිය මෑතකදී බොහෝ සේ කතා බහට ලක්වී ඇත්තේ එදා පුරාණ දඹදිව යනු මේ හෙළබිමේම කොටසක් යැයි විශ්වාස කරන ජනයා මෙම පුණ්‍යභූමිය බුද්ධ පරිනිර්වාණය සිදුවූ කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවත්තන නම් සල් උයන පිහිටි භූමිය බව හදුනාගෙන තිබීමයි ඒ බව තහවුරු කිරීමට අවශ්‍ය සාධක රාශියක් මේ බිමේ අදටත් නොනැසී ඇති බව ඔවුන් බොහෝ දෙනෙක් පෙන්වා දී තිබේ...
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment