Sunday, February 3, 2013
පුරාණ හත්ථිකුච්චි විහාරය,ගල්ගමුව
සිරිසගබෝ රජු හිස දන් දුන් පුරාණ හත්ථිකුච්චි විහාරය...ගල්ගමුව,
රාජාංගනය ලෙස ව්‍යවහාරයේ පැවැති පුරාණ හත්ථිකුච්චි විහාර සංකීර්ණය සිරිසගබෝ රජු හිස දන් දුන් ස්ථානය බව හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරුන් වන මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා සහ ආචාර්ය චාර්ල්ස් ගොඩකුඹුර මහතා පවසා ඇත.
කි‍්‍රස්තු වර්ෂ 247 සිට වසර දෙකක් අනුරාධපුරයේ රජකම් කළ සිරිසගබෝ රජතුමා රාජ්‍යත්වය හැරදමා දහවල පසුවී පිටත්ව අනුරාධපුරයේ ඉස්සරමණ විහාරයෙන් දකුණු දිශාවට පැමිණ රාතී‍්‍ර එළඹෙද්දී පැමිණි ස්ථානයක භාවනානුයෝගීව සිටි බව වංශකථාවන්හි දැක්වේ. මෙම විහාර සංකීර්ණය හමුවන්නේ අනුරාධපුර නගරයේ සිට දකුණු දෙසට වන්නට දැනට සැතපුම් 13 ක් ඈතිනි. එය සිරිසගබෝ රජුට වරුවකින් පමණ ලගාවිය හැකි ස්ථානයකි.
ඉන් කාලයකට පසු අනුරාධපුරයෙන් බත්මුලක් අතැතිව පිටත්වූ දුගියකු එක් වරුවක ගමනකින් පසු පර්වත මුදුනකට පැමිණ ආහාර ගන්නට සූදානම් වන මොහොතේ තාපසයකු භාවනාවේ නිරතවනු දැක තම බත්පතෙන් කොටසක් පූජා කැර ඇත. ඒ තාපසයා අනුරාධපුරයේ තොරතුරු විචාල මොහොතේ ගෝඨාභය රජු සිරිසගබෝ රජුගේ හිස ගෙනැවිත් දෙන්නකුට මසුරන් දහසක් දෙන බවට අණබෙර යැවූ බවත් ඒ නිසා මිනිසුන් හිස් ගෙන ඒමට පටන් ගැනීම නිසා මහා මිනිස් ඝාතනයක් වන බවත් පැවසූ බව ඉතිහාසයේ සඳහන් වේ. අනතුරුව මේ මිනිස් ඝාතනය ගැන ශෝකය උපදවාගත් භාවනානුයෝගීව සිටි සිරිසගබෝ රජු මා නිසා මිනිසුන් මිය යාම වැළැක්විය යුතුයැයි ඉටාගෙන තම හිස සිඳ දුගියා අත තබා මෙය ගෙනගොස් රජුට පෙන්වා කහවණු දහස ගනු යැයි කී බව ද අප වංශකථාවන්හි දැක්වේ.
දුගියා හිස ගෙනවිත් දුන් පසු මේ පුවත් ඇසූ ගෝඨාභය රජු සිරිසගබෝ රජු හිස දන් දුන් ස්ථානයට පැමිණ දේහය මිහිදන් කොට එතැන බෝධිඝරයක් පිහිටවූ බවද සඳහන් වේ. ඒ ආසන්නයේ වටදාගෙයක් සහිත චෛත්‍යයක් ද කරවූ බව දැක්වේ. ඉන්පසු රාජ්‍ය අනුග්‍රහයෙන් අසීමිත දියුණුවක් ලැබූ හත්ථිකුච්චි විහාර භූමියෙහි නටඹුන් රැසක් දක්නට ඇත.
දැනට මේ ස්ථානයේ මතුව ඇති නටඹුන් අතර පොහොය ගෙයක්, බුදු මැදුරක්, තෙමහල් ධාතු මන්දිරයක්, උස් මාලකයක් මත කරවූ වටදා ගෙයක්, විනාශ වූ චෛත්‍ය අටක්, දාන ශාලාවක්, අර්ධ කවාකාර ශාලාවක්, පොකුණු දාසයක්, කටාර සහ පූජා ලිපි කෙටූ ලෙන් ඇතුළු ලෙන් තිස් අටක් හමුවී ඇත.
තවමත් හඳුනාගත නොහැකිව තිබෙන විශාල ගොඩනැගිලි සංඛ්‍යාවක් ඇතුළුව අක්කර තුන්සියයක් පුරා විසුරුණු නටඹුන් සහිත මෙම පූජා භූමියේ මහනුවර යුගයේ බුදු පිළිමයක් සහිත ලෙන් විහාරයක් තවතමත් දක්නට ලැබේ.
''අස අචරිය සිරස” යනුවෙන් සඳහන් වූ ශිලාමය පුවරුවක් හත්ථිකුච්චි විහාර භූමියේදී හමුවී ඇත. එය පිහිටි ස්ථානයේ වටදාගෙයක් සහිත චෛත්‍යයකි. චෛත්‍යයට ඉතාමත්ම ආසන්නයේ පැරණි බෝධිඝරයක් පිහිටා ඇත. මේ බෝධිඝරයේ සිව් දෙසින් ඇති මල් ආසන වලින් දෙකක් අතර ගඩොලින් කරන ලද තවත් හතරැස් කොටු ආකාරයේ අඩි තුනක් පමණ උසැති අඩි අටක් පමණ දිගැති ඉදිකිරීමක් තිබේ. එහි එක් පසෙක් කවාකාර ගල් ස්ථම්භයක් ද තබා තිබේ. මෙවැනි නිර්මාණයක් ශී‍්‍ර ලංකාවේ කිසිදු ස්ථානයක බෝධිඝරයක දක්නට නැත. පුරාවිද්‍යාඥයන් පවසන්නේ හිසදන් දුන් සිරිසගබෝ රජතුමා මිහිදන් කළ ස්ථානය එය විය යුතු බවයි.
ඒ අසළ ඇති කඳු ගැටය මත දී හිස දන් දුන්නානම් රජුගේ සිරුර එතැනට වැටීමට ඉඩ ඇත. රජු හිස දන් දුන් ස්ථානයේ ඉරහඳ නොදුටු පොකුණක් වූ බවද ඒ කථාවන්හි සඳහන්වේ. හත්ථිකුච්චි විහාර සංකීර්ණයේ සිරිසගබෝ රජු හිස දන් දුන් ස්ථානයයැයි සැළකෙන ස්ථානයේ ද එවැනිම වූ ස්වභාවික පොකුණක් පිහිටා ඇත. බෝධිඝරයත් වටදාගෙය සහිත චෛත්‍යය පිහිටි ස්ථානයට ඉහළින් ගල් පර්වතය මත මෙම පොකුණ පිහිටා තිබේ. ගල් ලෙනක් ඇතුලත ඇති මේ පොකුණේ කිසිදා දිය නොසිදෙන අතර හිරුගේ හෝ සඳුගේ ඡායාව වසරේ කිසිදු දිනක මේ පොකුණට වැටෙන්නේ ද නැත.එම පොකුණ පිහිටි ස්ථානයේ ඇති කුඩා ලෙනෙහි සිටි මිනිසකු බිමට වැටුණහොත් පතිත වන්නේ බෝධිඝරය පිහිටා ඇති ස්ථානයට බවද පැහැදිලි කරුණකි.
මෙම සියළු කරුණු සළකා බැලූ විට සිරිසගබෝ රජතුමා හිස දන් දුන් ස්ථානය හත්ථිකුච්චි විහාරය හෙවත් අතීත රාජාංගනය බව පැහැදිලි යැයි පුරාවිද්‍යාඥ මතයකි.
දනකිරිගල රජ මහ විහාරය, මාවනැල්ල
ඓතිහාසික දනකිරිගල රජ මහ විහාරය, මාවනැල්ල..
දනකිරිගල රජ මහ විහාරය කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල ආසන්නයේ පිහිටි ඉතා පුරාණ විහාරයකි. 'වද්දම්මන පව්ව' ලෙස අතීතයේ එම මහා පර්වතය හදුන්වා තිබේ.
පූර්ව බ්රාහ්මීය අක්ශර සහිත සෙල්ලිපි කියාපාන්නේ මෙම පුණ්‍ය භූමියත් ක්‍රිස්තු පූර්ව යුගය දක්වා දිගු ඉතිහාසයකට උරුමකම් කියන වගයි. තවමත් මෙම විහාරයේ නියම ඉතිහාසය සහ වැදගත්කම හරි හැටි තක්සේරු කර නැතැයි නිසැකවම කිව හැකිය.
බුදුගල රජමහ විහාරය, කල්තොට
අතීත රහස් බොහොමයක් සගවා ගත් පින්බිම... බුදුගල රජමහ විහාරය, කල්තොට
බලංගොඩ මානවයා පිළිබඳ තොරතුරු හමුවන ප්‍රදේශයක් ලෙස ‘කාලතිත්ථ’ රාජධානිය හෙවත් කල්තොට හැඳින්වෙන එම මංසන්ධියෙන් කි.මී. 4 1/2 ක් ගියතැන දියවින්න මාර්ගයේ ගමන් කරන්නෙකුට මෙම ඓතිහාසික බලන්ගොඩ බුදුගල රජමහ වෙහෙර හමුවෙයි. අති රමණීය ස්වභාව සුන්දරත්වයට නෑකම් කියන තුරු පියසකින් යුතු බුදුගල රජමහ වෙහෙර අතීත බෙදීම අනුව සබරගමු දිසාවේ කඩවත මැද කෝරලයේ හෙළ උඩපත්තුවේ මහවලතැන්න සානුවට යාබදව පිහිටා ඇත.
කූරගල බුදුගල ලංකා පබ්බතය සහ ගල්ටැම්යාය නමින් ආරාම සංකීර්ණ රාශියක් දුරාතීතයේ සිටම මේ ප්‍රදේශයේ පිහිටා තිබිණි. පැරණි කුරුදියවල විහාරය වශයෙන් හඳුනා ගත හැක්කේ ගල්ටැම් යායයි. පලුගහවැවව නම් දැනට කැඩී ඇති වැව් බැම්ම හරහා කුරුදියවල විහාරයටත් එතනින් ගල් ඇතිරූ පාරක් ඔස්සේ කූරගල දෙසටත් පාරක් තිබූ බව පැරන්නෝ කියති. මේ කුරුදියවල විහාරය අනුරාධපුර යුගයේ ඉදිවූ පංචාවාස ආරාමයෙකි. ලංකා පබ්බතයේ වටිනා සෙල්ලිපි දෙකක් පිහිටා තිබෙන අතර බුදුගල ආරාමයේ ද පධානඝර නොහොත් පියන්ගල් දක්නට ඇත.
කූරගල ද රාක්ෂ ගෝත්‍රිකයන්ගේ වාස භවනයෙකි. ඔවුහු තෙරුවන් සරණ යැමෙන් පසුව එහි ගල්ලෙන් භාවනායෝගී රහතුන් වහන්සේලාට පූජා කොට ඇත. එසේම සිරිපතුල් ලාංඡනයක්ද එහි පිහිටුවා වැඳුම් පිදුම් කරන්නට ආරම්භ කොට ඇත. කූරගල ආශ්රිත ජන ප්‍රවාද ජන කවිවල සඳහන් වන ආකාරයට සමන් පව්වට බුදුන් වහන්සේ වැඩිය ගමනේදී දිවා විහරණය පිණිස කූරගලට වැඩම කොට ඇත. ඒ සමන් දෙවියන්ගේ ආරාධනයෙනි.
අනුරාධපුර යුගයේදී සංවර්ධනය වූ බුදුගල පියන් ගල් ආරාමයේ මෙම ජන ප්‍රවාද තහවුරු කරන සලකුණු කීපයක් ඇත. ඉන් පළමුවැන්න එහි පහළ මළුවේ බෝධියට නුදුරින් ගල් කණුවක සටහන්ව තිබේ. සංඛයක හැඩය ගත් එහි එක රූපයක් ගුවන් යානාවක හැඩයක් ගනී. දෙවැන්නේ ඇත්තේ සිරිපතුල් ලකුණයි. තිස් දෙකෙන් කියෑවෙන්නේ සිරිපතුල් දෙකක් ඇති බවයි. තුන් වැන්න සවස්තිකයයි. එය රාක්ෂ ගෝත්‍රිකයන්ගේ ගෝරා පසලම නම් සංකේතයයි. පළමු සලකුණත් දෙවැන්නත් අතර තිබෙන රේඛා චිත්‍රය එක වරම හඳුනා ගන්නට බැරි වූවද කූරගල ජන කවි අතර ඇති එක් කවියෙකින් එයට අවශ්‍ය අරුත දිය හැකි යයි සිතමි.
තාරක අසුරා පෙරළු ගල යට කෙටුව සිරිපද පත්ම සටහන සැමට නොපෙනේ යයි සඳහන් කවි පදය අනුව කුහර ගල උමං මාර්ගයේ දමා වසා ඇති සිරි පතුල මෙයින් සංකේතවත් වන්නේ යයි සිතමි. සටහනේ දක්වා ඇත්තේ ඒ උමං මාර්ගයයි.
සපරගමු බින්තැන්නේ සිට වන්දනාවට එක්වෙන ජන සමූහයා බුදුගල මේ සංකේතය දැක ශ්‍රද්ධා භක්තියෙන් පිරී ඉතිරී ගොස් සාධු සාධු කියමින් කූරගල කරුණා කරන්නට ඇති බව කල්පනා කරන්නට හැකිය. ඒ සිංහල බෞද්ධ සංස්කෘතියෙන් හික්ම වූ සාධු පිළිවෙතයි. අන්‍යාගමිකයන්ගේ යකුළු පහරකට හෝ මිථ්‍යා මතවාදයකට එම හැදියාව වෙනස් කළ නොහැකි බව ඉතිහාසය විසින් අපට පසක් කොට දී තිබෙන බව අවසන් වශයෙන් සටහන් කළ යුතුව තිබේ.
මේ පුණ්‍යභූමිය මෑතකදී බොහෝ සේ කතා බහට ලක්වී ඇත්තේ එදා පුරාණ දඹදිව යනු මේ හෙළබිමේම කොටසක් යැයි විශ්වාස කරන ජනයා මෙම පුණ්‍යභූමිය බුද්ධ පරිනිර්වාණය සිදුවූ කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවත්තන නම් සල් උයන පිහිටි භූමිය බව හදුනාගෙන තිබීමයි ඒ බව තහවුරු කිරීමට අවශ්‍ය සාධක රාශියක් මේ බිමේ අදටත් නොනැසී ඇති බව ඔවුන් බොහෝ දෙනෙක් පෙන්වා දී තිබේ...
තරුලෙන්ගල ආරාමය
එදා නික්ලේශී මහ රහතුන් වහන්සේලා බොහෝ පිරිසකට සෙවන දුන්...තරුලෙන්ගල ආරාමය...
තරුලෙන්ගල සේනාසනය අම්පාර ලාහුගල පිහිටා ඇත. මේ ඓතිහාසික ආරාමය වසර 2400 කටත් වඩා පැරණි බව විශ්වාස කෙරෙන අතර එහි විහාරය කාවන්තිස්ස රජතුමා විසින් කල බව පැවසෙන සෙල්ලිපියක් ඇත... ඊට අමතරව තවත් සෙල් ලිපි කිහිපයක් ඒ අවට ඇත...
එදා නික්ලේශී මහ රහතුන් වහන්සේලා බොහෝ පිරිසකට සෙවන දුන් කටාරම් සහිත ගල්ලෙන් ගණනාවකින් යුත් මේ ආරාමය කුඩිමිබිගල විහාර සංකීරණයටම අයත්ව තිබූ බව පැවසේ...
මෙම විහාරයේ සුවිශේෂීත්වය නම් දැනට නිදන් හොරුන්ගෙන් වී ඇති විනාශයත්, ස්වාභාවික ගරා වැටීමත් නිසා අභාවයට යමින් ඇති සැතපෙන පිළිම වහන්සේ ලක්මවගේ දෙවන පිළිම වහන්සේ ලෙස හදුනාගෙන තිබීමයි... අනෙක් සුවිශේෂිත්වය නම් ආසියාවේ දිගම කටාරම සහිත ස්භාවික පිහිටි ලෙන් කුටිය පිහිටා ඇත්තේද මෙම සේනාසනයේය...
මෙම ආරාමයේ ඇතැම් ලෙන් තුල ආදිවාසී හෙළයන් ඇදි චිත්රද දැකගත හැකිය...
සුපුරුදු පරිදිම ලංකාවේ පුරාවිද්‍යා අංශයේ කිසිදු අවධානයකට ලක් වී නැති මේ ඓතිහාසික භූමිය විහාරවාසී ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ උත්සහය නිසාම යම් පමණකට සුරැකී පවතී.. ඇතැම් විට නුදුරේදීම එම අනගි හෙළ උරුමය ජාතියට අහිමි වී යෑමේ ඉඩකඩද සුළුපටු නොවේ...
<<< www.srisararadio.com >>>
Subscribe to:
Posts (Atom)